කව්සිළුමිණ කතුවරයාගේ ජීවන පරිඥානය පිළිබඳ අධ්‍යයනයක්
Loading...
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Faculty of Humanities, University of Kelaniya
Abstract
ජීවන පරිඥානය යනු ජීවිතය පිළිබඳ මනා කොට දැන ගැනීමයි. නැතහොත් අවබෝධයයි. සාහිත්‍යකරුවෙකු යථාර්ථවත්ව සිය සමාජයේ ජීවත්වීමෙන් ජීවිතය පිළිබඳ ලබන ඥානය සාර්ථක සාහිත්‍ය ග්රන්ථයක් බිහි කිරීමෙහිලා අත්‍යන්තයෙන් වැදගත් වේ. සිංහල සාහිත්‍යයේ ලියැවුණු මුවදෙව්දාවත, සසදාවත, කව්සිළුමිණ වැනි ගී කාව්‍යද, අමාවතුර, බුත්සරණ වැනි භක්ති කාව්‍යද, සද්ධර්මරත්නාවලිය, සද්ධර්මාලංකාරය වැනි බණකතා පොත්ද මෙන්ම සිදත් සඟරාව වැනි ව්‍යාකරණ ග්රන්ථද ගත් විට ඒ ඒ කතුවරයා සතු වු ජීවන පරිඥානය මැනවින් ප්‍රකාශ වේ. මේ අතුරින් සිංහල සාහිත්‍යයේ මුදුන් මල්කඩ බඳු කලිකල් සිවුවැනි පැරකුම් නිරිඳුගේ කව්සිළුමිණ මහාකාව්‍ය ගත් විට එහි ග්රන්ථාන්තර හා භාෂාන්තර ඥානය, අලංකාර භාවිතය, මහාකාව්‍ය ලක්ෂණ, විරිත් භාවිතය හා වර්ණනා විලාසය ආදි සෑම ක්ෂේත්රයක්ම විවිධ විද්වතුන් විසින් අධ්‍යයනය කර තිබුණද කතුවරයාගේ ජීවන පරිඥානය පිළිබඳ අධ්‍යයනය කර නොමැත. එබැවින් මෙම පර්යේෂණයේ අරමුණ වන්නේ කවිසිළුමිණ කතුවරයාගේ ජීවන පරිඥානය පිළිබඳ අධ්‍යයනය කිරීමයි. කව්සිළුමිණ කතුවරයා ලැබූ ජීවන පරිඥානය විවිධාකාරයෙන් ග්‍රන්ථය පුරා විද්‍යමාන වේ. අධ්‍යාපනයෙන් ලැබූ ඥානය, රැකියාවෙන් ලැබූ අවබෝධය, ප්‍රේමය හා විරහවෙන් ලැබූ අද්දැකීම්, කුටුම්භ සංස්ථාපනයෙන් ලැබූ අවබෝධය, රාජ්‍යත්වය දැරීම, යුද්ධ ආදි ආක්‍රමණ හමුවේ ලැබූ අත්දැකීම්, ධර්ම ඥානය, තමාට ආවේණික සුවිශේෂ හැකියාවන් තුළින් ලබන දැනීම ආදි විවිධාකාර වේ. එහෙයින් මෙම අධ්‍යයනයේ පරාසය සීමා කර ගනු වස් කව්සිළුමිණ කතුවරයාට ප්‍රේමය පිළිබඳ වූ ජීවන පරිඥානය විමසා බලනු ලැබේ. සාහිත්‍ය මූලාශ්‍රය ඔස්සේ මෙම අධ්‍යයනය සිදු කරන අතර ප්‍රාථමික මූලාශ්‍රය ලෙස ඇම්. බී. ආරියපාල සූරීන්ගේ කව්සිළුමිණ හෙවත් කුසදාවත සංස්කරණය උපකාර කර ගනු ලැබේ. විචාර පූර්වක ගවේෂණයක් උදෙසා ද්විතීයික මූලාශ්‍රය ලෙස කව්සිළුමිණ සඳහා කර තිබෙන සෙසු සංස්කරණද විමසා බැලේ. සමස්තයක් ලෙස මෙම අධ්‍යයනය සාහිත්‍යකරණ විෂයෙහි ජීවන පරිඥානයේ ඇති වැදගත්කමත් කව්සිළුමිණ කවියාට තිබූ ප්‍රේමය පිළිබඳ පරිඥානයත් හා එය කව්සිළුමිණෙහි සාර්ථකත්වය උදෙසා උපකාරී වූ ආකාරයත් පිළිබඳ අවබෝධය සඳහා වැදගත් වෙතැයි අපේක්ෂා කෙරේ.
Description
Citation
ජයමාල ටී. ජී. රන්තරු (2021), කව්සිළුමිණ කතුවරයාගේ ජීවන පරිඥානය පිළිබඳ අධ්‍යයනයක්a, Undergraduate Research Symposium, Faculty of Humanities Undergraduate Research Symposium, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka. 7.