Please use this identifier to cite or link to this item: http://repository.kln.ac.lk/handle/123456789/27493
Title: ආදිවාසී ජනතාවගේ ආහාර පරිභෝජන රටාවේ වෙනස්වීම කෙරෙහි පුද්ගලබද්ධ සංවර්ධන ව්‍යාපෘතිවලින් සිදුවන බලපෑම: දඹාන ආදිවාසී ගම්මානය ආශ්‍රයෙන්
Authors: නාමරත්න, එන්. ඩී.
Keywords: අතීත ආහාර රටාවන්, ආදිවාසීන්, දඹාන, පුද්ගලබද්ධ සංවර්ධන ව්‍යාපෘතීන්, වර්තමාන ආහාර රටාවන්
Issue Date: 2023
Publisher: Department of Sinhala, Faculty of Humanities, University of Kelaniya Sri Lanka
Citation: නාමරත්න, එන්. ඩී. (2023), ආදිවාසී ජනතාවගේ ආහාර පරිභෝජන රටාවේ වෙනස්වීම කෙරෙහි පුද්ගලබද්ධ සංවර්ධන ව්‍යාපෘතිවලින් සිදුවන බලපෑම: දඹාන ආදිවාසී ගම්මානය ආශ්‍රයෙන්, National Conference on Sinhala Studies (NCSS 2023), Department of Sinhala, Faculty of Humanities, University of Kelaniya Sri Lanka
Abstract: එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත ආදිවාසීන් පිළිබඳ කමිටුවේ නිර්වචනය පරිදි ආදිවාසීන් යනු, යම්කිසි රටක හෝ ප්‍රදේශයක මුල් පදිංචිකරුවන්ගෙන් පැවත එන ජන කොටස්වලින් සමන්විත ප්‍රජාවකි. මහාවංශයට අනුව ශ්‍රී ලාංකේය ආදිවාසීන්ගේ සම්භවය සිදුවන්නේ කුවේණියගේ දරු දෙදෙනාගෙනි. ඒ අනුව දීර්ඝ ඉතිහාසයක් සහිත මේ ආදිවාසීන් සතුව ඔවුනටම ආවේණික සංස්කෘතියක් නිර්මාණය වී තිබේ. මහියංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දීර්ඝ කාලයක් තිස්සේ වාසය කරන දඹාන ආදිවාසීන්ට ද වනාන්තරය කේන්ද්‍ර කරගත් ස්වයංපෝෂිත වූ ද ඔවුනටම අනන්‍ය වූ ද සංස්කෘතියක් පැවති බව ඔවුන්ගේ සම්භවය හා පරිණාමය සම්බන්ධයෙන් සිදුකර ඇති විද්වත් පර්යේෂණ මගින් අනාවරණය වේ. යටත්විජිතයක්ව තිබී නිදහස ලැබූ පසු බලයට පත් විවිධ දේශපාලන බලධාරීන් විසින් එතෙක් පැවති යැපුම් ආර්ථිකය වෙනුවට සමස්ත ශ්‍රී ලංකාවට ම වාණිජ අර්ථ ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබිණි. ඊට සමගාමීව සමාජ සංවර්ධන ව්‍යාපෘති මෙන් ම පුද්ගල සංවර්ධන ව්‍යාපෘති ද හඳුන්වා දෙනු ලැබිණි. මේ පර්යේෂණයේ ගැටලුව වන්නේ විවිධ සමාජ, ආර්ථික හා දේශපාලන ක්‍රියාකාරකම් අතුරින් පුද්ගල සංවර්ධන ව්‍යාපෘතිවල බලපෑම හේතු කොටගෙන දඹාන ආදිවාසීන්ගේ ආහාර සංස්කෘතිය කෙරෙහි කවර බලපෑමක් සිදු වී ඇත්දැයි විමර්ශනය කිරීම ය. ඒ අනුව මෙහි දී අවධානය යොමු කෙරෙන්නේ තත් සංවර්ධන ව්‍යාපෘති අතුරින් පුද්ගලබද්ධ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳවත් ඒවා දඹාන ආදිවාසීන් අතර ක්‍රියාත්මක වීමෙන් ඔවුන්ගේ සංස්කෘතියේ ප්‍රමුඛාංගයක් වන ආහාර පරිභෝජන රටාවේ වෙනස්වීම් හටගැනීමට එමඟින් සිදු වූ බලපෑම් පිළිබඳවත් ය. ගුණාත්මක පර්යේෂණ ක්‍රමවේදයට අනුව සිදුකෙරෙන මේ පර්යේෂණය සඳහා දත්ත රැස්කිරීමේ දී දඹාන ආදීවාසීන් පිළිබඳව ලියැවුණු පර්යේෂණ කෘති ද සම්මුඛ සාකච්ඡා ද ප්‍රත්‍යක්ෂ නිරීක්ෂණ ද භාවිත කෙරිණ. දඹාන ආදිවාසීන්ගේ සංස්කෘතියට අයත් ආහාර රටාවේ විපර්යස්ථ වීම කෙරෙහි බලපෑම් ඇතිකෙරෙන චර්යාවන් ඔවුන් අතර ජනිත කෙරුණු, 1948 - 2022 දක්වා ක්‍රියාත්මක වූ ආහාර මුද්දර ක්‍රමය (1978), සහල් සලාක ක්‍රමය (1979), ජනසවිය ව්‍යාපාරය (1989), සමෘද්ධි ව්‍යාපාරය (1989) සහ දිවිනැඟුම ව්‍යාපාරය (2013) යන ව්‍යාපෘතීන් සහ ඒවායේ බලපෑම ද අවධානයට යොමු කෙරිණි. පූර්වෝක්ත දත්ත විශ්ලේෂණය කිරීමේ දී අලවර්ග, දඩමස්, මීපැණි, ධාන්‍ය වර්ග, එලවළු හා පලතුරු පමණක් සාම්ප්‍රදායිකව ආහාර සඳහා යොදාගත් ආදිවාසීන් මේ වන විට තිරිඟු පිටි සහිත ආහාර කෙරෙහි ද සොසේජස් වැනි සුපිරි වෙළඳසල් ආශ්‍රිත ආහාර හා පැණීබීම භාවිතය කෙරෙහි ද ශීඝ්‍ර නැඹුරුවක් දක්වන බව නිගමනය කරගත හැකි විය.
URI: http://repository.kln.ac.lk/handle/123456789/27493
Appears in Collections:NCSS 2023

Files in This Item:
File Description SizeFormat 
NCSS 2023 42.pdf232.96 kBAdobe PDFView/Open


Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.