පාඬිග්ගම ගම්මානය ආශ්‍රිතව ඇති දෙවියන් මායම් වීමේ ශාන්ති කර්මය මනෝචිකිත්සක අභිචාර විධියක් ලෙස වැදගත් වන ආකාරය පිළිබඳ අධ්‍යයනයක්
Loading...
Date
Journal Title
Journal ISSN
Volume Title
Publisher
මානවශාස්ත්‍ර පීඨය,කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව
Abstract
අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පාඬිග්ගම
ගම්මානය සාම්ප්‍රදායික වන්නි වැදි ජනතාව ජීවත් වන ගම්මානයකි. පාඬිග්ගම ගම්මානය ආශ්‍රිතව විවිධ ශාන්ති කර්ම විධි දැකගත හැකිය. ඒ අතර මුට්ටි මංගල්‍යය, වැවේ කිරි ඉතිරීම, හතර මංගල්‍යය, පිදේනි ශාන්තිය සහ දෙවියන් මායම් වීම යන ශාන්ති කර්ම විධි කැපී පෙනේ. ප්‍රතිකර්ම සඳහා භාවිත විවිධ මනෝවිද්‍යාත්මක සහ චිකිත්සක ක්‍රමවේද මෙම ශාන්ති කර්ම විධි මගින් හඳුනා ගැනීමට පිළිවන. එම චිකිත්සක ක්‍රමවේද භාවිත කර බොහෝ මානසික රෝග සුවපත් කළ හැකිය. පාඬිග්ගම ගම්මානයේ ශාන්ති කර්ම විධි අතුරින් මෙම පර්යේෂණය සඳහා යොදා ගෙන ඇත්තේ දෙවියන් මායම් වීමේ ශාන්ති කර්මයයි. ඒ අනුව මෙම පර්යේෂණ පත්‍රිකාවේ අරමුණ වන්නේ ‘දෙවියන් මායම් වීම’ ශාන්ති කර්මයේ ඇති දෘෂ්ටිවාදාත්මක සහ මනෝ චිකිත්සක ක්‍රමවේද අධ්‍යයනය කිරීමයි. දෙවියන් පිළිබඳ ඇති සමාජ විශ්වාස සහ ‘දෙවියන් මායම් වීම’ ශාන්ති කර්මය අතර ඇති සම්බන්ධතාව කවරාකාරද යන්න අධ්‍යයනය කිරීම පර්යේෂණයේ ගැටලුව වේ. පර්යේෂණ ක්‍රමවේදයේ දී මූලික තොරතුරු අධ්‍යයනය කිරීම පූර්ව පර්යේෂණ, ග්‍රන්ථ සහ ලිපි ලේඛන ආදි සාහිත්‍ය මූලාශ්‍රය මඟින් සිදුකෙරිණි. සාහිත්‍ය මූලාශ්‍රය පරිශීලනය කිරීමෙන් අනතුරුව ගම්මානයේ ක්ෂේත්‍ර අධ්‍යයනයක් සිදුකෙරිණි. පර්යේෂණ ක්‍රමවේදයේදී සම්මුඛ සාකච්ඡා පැවැත්වීම මඟින් ගම් වැසියන්ගේ සාම්ප්‍රදායික දැනුම බෙදාහදාගැනීමේ අවස්ථාව ලැබිණි. ‘දෙවියන් මායම් වීම’ ශාන්ති කර්මය පවත්වන්නේ අමනුෂ්‍ය බලවේග සහ වෙනත් බලවේගවලට ප්‍රතිකර්මයක් ලෙස ආශීර්වාදය ලබාගැනීම සඳහාය. ‘දෙවියන් මායම් වීමේ’ ශාන්ති කර්මය ආරම්භයේදී යහන් තනා ගොටු පූජාකර සියලුම දෙවියන්ට කවි ගායනා කරමින් ආරාධනා කෙරෙයි. මෙහිදී අනුමැතියාට දෙවියන් මායම් වන අතර ඔහු දෙවිවරුන්ගේ ආයුධවලින් සමන්විත ඇඳුමකින් සැරසී සිටියි. එම ඇඳුමින් සංකේතවත් වන්නේ එම දෙවිවරුන්ගේ බලය උක්ත අමනුෂ්‍ය බලවේගයන්ට එරෙහිව නැඟී සිටීමයි. එය ආතුරයා කෙරෙහි මානෝවිද්‍යාත්මක සහ චිකිත්සනමය බලපෑමක් සිදු කිරීමට හේතු වේ. මෙම ශාන්ති කර්මයේ අන්තර්ගත දෘශ්‍ය කලා, අභිරංග, සංනාද සහ වෙනත් නිර්මාණාත්මක ක්‍රියාවලීන් ගැඹුරු ආධ්‍යාත්මික වර්ධනයක් ඇති කිරීම සඳහා සැදුණු කලාත්මක චිකිත්සන ලෙස සැලකිය හැකිය. එය දෘෂ්ටිවාද මත පදනම් වෙයි.
Description
Citation
ධර්මරත්න, කේ.එම්.එල්.ඩී., පුෂ්ප කුමාර, ආර්.ඩී.ඩී. හා පතිරණ, පී.ඩී.එම්. (2021) පාඬිග්ගම ගම්මානය ආශ්‍රිතව ඇති දෙවියන් මායම් වීමේ ශාන්ති කර්මය මනෝචිකිත්සක අභිචාර විධියක් ලෙස වැදගත් වන ආකාරය පිළිබඳ අධ්‍යයනයක්, 5 වන මානවශාස්ත්‍ර පීඨ ජාත්‍යන්තර ප්‍රභාෂණය, මානවශාස්ත්‍ර පීඨය,කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව. පිටු අංකය,25