මුට්ටිනැමීම මංගල්‍ය අභිචාරකර්මයේ ප්‍රාසංගික භාවිතාව පිළිබඳ අධ්‍යයනයක් (කැඳෑ කෝරළය ප්‍රදේශය ආශ්‍රයෙන්)

Loading...
Thumbnail Image

Date

Journal Title

Journal ISSN

Volume Title

Publisher

Faculty of Humanities, University of Kelaniya

Abstract

ජනශ්‍රැතිකාංග අතර අභිචාර සඳහා ලැබෙනුයේ සුවිශේෂ ස්ථානයකි. පැරණි පොදු ජනයා විසින් අඛණ්ඩව මුඛ පරම්පරාගතව පවත්වාගෙන ආ දැනුම, ආකල්ප, කුසලතා හා තාක්ෂණය අතර ඇදහිලි හා විශ්වාස කාණ්ඩයට අයත් වන අභිචාර යනු අදෘශ්‍යමාන බලවේග සමග ගනුදෙනු කරන, පොදු ජනයාගේ ගුප්ත විද්‍යාත්මක සීමාව ආවරණය කරන විෂය ක්ෂේත්‍රය වේ. මෙහිදී කෘෂිකර්මාන්තය මූලික කරගෙන සිදු කරන බහුවිධ වත් පිළිවෙත් අතර මුට්ටි නැමීම මංගල්‍යය අභිචාරකර්මය නුවරකලාවිය ප්‍රදේශයේ සුවිශේෂ ස්ථානයක් ගෙන ඇත. විවිධ පර්යේෂකයන්, කතුවරුන් තත් අභිචාරකර්මයේ චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ අවධානය යොමු කළද එහි ප්‍රාසංගික භාවිතය අභිචාර කර්මයේ සාර්ථකත්වය සඳහා භාවිත වූ ආකාරය පිළිබඳව කරුණු ඉදිරිපත් කර නොමැත. මෙම පර්යේෂණයෙන් අධ්‍යයනය කරනුයේ මුට්ටි නැමීම මංගල්‍යයයේ අභිචාරමය ගුණය තීව්‍ර කිරීමෙහිලා එහි භාවිත වන ප්‍රාසංගික අංග මනා පිටුවහලක් වී ඇත්ද යන්න පිළිබඳවයි. පර්යේෂණ ගැටලුව වන්නේ නුවරකලාවියේ අනෙකුත් අභිචාරකර්මයන්ට සාපේක්ෂව මුට්ටි නැමීමේ මංගල්‍යයයේ සාර්ථකත්වය සඳහා එයට ආවේණික ප්‍රාසංගික ලක්ෂණ භාවිතය උපකාරී වූවාද? යන්නයි. මේ සඳහා අභිචාර කර්මයේ භාවිත පද්‍ය සාහිත්‍ය, නර්තන වාදන අංග, සැරසිලි, රංගවස්ත්‍රාභරණ, හා චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳව අවධානය යොමු කර ඇත. මෙම ප්‍රාසංගික අංග තුළින් පිහිට ලබා දෙන්නන් සහ පිහිට ලබන්නන් අතර බන්ධනය භාවාත්මකව සහසම්බන්ධ කරන ආකාරය ඒ පිළිබඳව සූක්ෂ්මව බලන්නෙකුට දැකගත හැකි වේ. ඒ අනුව මෙම පර්යේෂණය සඳහා ලිඛිත හා අලිඛිත මූලාශ්‍රයන් ද ප්‍රාථමික හා ද්විතීයික මූලාශ්‍රයන්ද යොදා ගනු ලැබූ අතර ක්ෂේත්‍ර අධ්‍යයන, සහභාගිත්ව නිරීක්ෂණ හා සම්මුඛ සාකච්ඡා ආදි පර්යේෂණ ක්‍රමවේදයන් පදනම් කරගනිමින් සාම්ප්‍රදායික දැනුම එක්රැස් කර ගැනීමට හැකිවිණි. එම දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව නුවරකලාවියේ අනෙකුත් අභිචාර කර්මයන්ට සාපේක්ෂව තත් අභිචාරකර්මය එහි අරමුණු ඉටුකර ගැනීම සඳහා ප්‍රාසංගිකත්වය විශිෂ්ට ලෙස භාවිත කොට ඇති බව පිළිබඳව නිගමනයට එළඹුණි. අවසාන වශයෙන් මෙම පර්යේෂණය ලාංකේය අභිචාරකර්ම ක්ෂේත්‍රය පිළිබඳව අධ්‍යයනය කරන්නන් හට අතිශයින් ප්‍රයෝජනවත් වන බව පෙන්වා දිය හැකිය.

Description

Citation

කුලරත්න ඒ. එස්. (2021), මුට්ටිනැමීම මංගල්‍ය අභිචාරකර්මයේ ප්‍රාසංගික භාවිතාව පිළිබඳ අධ්‍යයනයක් (කැඳෑ කෝරළය ප්‍රදේශය ආශ්‍රයෙන්), Undergraduate Research Symposium, Faculty of Humanities Undergraduate Research Symposium, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka. 35p.

Collections

Endorsement

Review

Supplemented By

Referenced By