බෞද්ධ සාහිත්‍යයේ සඳහන් රහතන් වහන්සේලාගේ ගුණාංග හා රහත් යැයි ප්‍රකාශිත වත්මන් භික්ෂුව

Loading...
Thumbnail Image

Date

Journal Title

Journal ISSN

Volume Title

Publisher

Faculty of Humanities, University of Kelaniya

Abstract

බුදුන් වහන්සේ නොයෙක් අවස්ථාවලදී රහතුන් වහන්සේලාගේ ගුණාංග පිළිබඳව කොතෙකුත් දේශනා පවත්වා ඇත. මෙහිදී මෙම අධ්‍යයනය සඳහා බුදුදහමේ සඳහන් එවැනි දේශනාද ඇසුරු කරන අතර එහිදී විශේෂයෙන්ම අලගද්දූපම සූත්‍රය මුල් තැනෙහිලා සලකනු ලැබේ. මජ්ක්‍ධිම නිකායේ මූල, මජ්ක්‍ධිම, උපරි යනුවෙන් දැක්වෙන පණ්ණාසක තුනෙන් එකක් වන මූලපණ්ණාසකයේ එක් වග්ගයක් වන ඕපම්ම වග්ගයේ දෙවෙනි සූත්‍ර දේශනාව අලගද්දූපම සූත්‍රයයි. සර්ප උපමාව මූලික කරගත් ධර්මය වැරදි අයුරින් ග්‍රහණය කරගැනීම පිළිබඳව ප්‍රකාශිත අලගද්දූපම සූත්‍ර දේශනාවේ තවත් එක් වැදගත් කාරණයක් වනුයේ කෙලෙස් මුල් සිඳ දැමූ ආර්ය ශ්‍රාවකයා සතුව විශිෂ්ට ගුණාංගයන් දක්නට තිබීමයි. මෙම අධ්‍යයනයේ අරමුණ වනුයේද එකී ගුණාංග පිළිබඳව යම් අවබෝධයක් ලබාදෙමින් ඒවා වත්මනේ රහත් යැයි ප්‍රකාශිත භික්ෂු පරපුර හා සම්බන්ධ කරමින් විමර්ශනය කිරීමයි. මේ අධ්‍යයනය සඳහා මා විසින් ශබ්දකෝෂ හා අටුවා වැනි ප්‍රාථමික මූලාශ්‍රයද ඒවා ඇසුරින් රචිත ද්විතීයික මූලාශ්‍රයද පුවත්පත් වැනි තෘතීයික මූලාශ්‍රයද ඇසුරු කරනු ලැබීය. රහතුන් වහන්සේලා යනුවෙන් අදහස් කරනුයේ දස සංයෝජනයන් නිරවශේෂව ප්‍රහීණය කළ ආර්යයන් වහන්සේලාය. විශේෂයෙන්ම අලගද්දූපම සූත්‍රයෙහි එබඳු ආර්යයන් වහන්සේලා සතු ගුණාංග පහක් ඇතුළු ඒ හා බැඳුණු අනුගුණාංග ඛිහිපයක්ද ඇතුළත්ය. ඊට අමතරව පඨම අරහන්ත සූත්‍රය, ධම්මපදය ආදි මූලාශ්‍රයද කිහිපයක් මෙහිලා භාවිත වේ. වත්මන් සංඝ පරපුරේ ඇතැම් භික්ෂූන් වහන්සේලා තමන් රහත් පදවියට පත්වූවේ යැයි ලෝකයට හඬගා පවසයි. නමුත් සැබෑවටම උන්වහන්සේලා උතුම් නිර්වාණ මාර්ගයේ පවතින අර්හත් තත්වය ළඟාකරගත් පිරිසක්දැයි අප විමර්ශනය කළ යුතු වේ. එනිසා රහතුන් වහන්සේලා හඳුනාගැනීමේ දුෂ්කරතාව මත පදනම් වූ ගැටලුකාරී තත්වය බෞද්ධයකු වශයෙන්ද බෞද්ධ සංස්කෘතිය විෂය හදාරන්නෙකු ලෙසද අප විමර්ශනය කළ යුතුය. මේ අධ්‍යයනයේදී රහතුන් වහන්සේලාගේ ගුණාංග බෞද්ධ සාහිත්‍යය ආශ්‍රයෙන් විග්‍රහයට බඳුන් කරමින් එය වර්තමානයේ රහත් යැයි සම්මත සංඝයා තුළ කෙසේ පැවතෙන්නේදැයි සාකච්ඡාවට බඳුන් කරයි. බෞද්ධයන්ටද බෞද්ධ සංස්කෘතිය හදාරන විද්‍යාර්ථියන්ටද පමණක් නොව ජනතාවටද රහතුන් වහන්සේලාගේ ස්වභාවය හඳුනාගෙන වත්මනෙහි රහත්ඵලයට පත්වූ රහතුන් වහන්සේලාට උපහාරයක් එක්කිරීමටත් රහත් යැයි දෘශ්‍යමානව සිටින චීවරධාරීන්ගෙන් සඟසසුන ආරක්ෂා කරගැනීමටත් මෙම අධ්‍යයනය හේතු සාධක වන බව නොඅනුමානය.

Description

Citation

සෙව්වන්දි ඩබ්. ඒ. එච්. (2021), බෞද්ධ සාහිත්‍යයේ සඳහන් රහතන් වහන්සේලාගේ ගුණාංග හා රහත් යැයි ප්‍රකාශිත වත්මන් භික්ෂුව, Undergraduate Research Symposium, Faculty of Humanities Undergraduate Research Symposium, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka. 47p.

Collections

Endorsement

Review

Supplemented By

Referenced By