මඤ්ජුශ්‍රීභාෂිත වාස්තු විද්‍යාශාස්ත්‍රයෙහි නිර්දේශිත හස්ත මිනුම් ඒකකය
Loading...
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Faculty of Graduate Studies, University of Kelaniya Sri Lanka
Abstract
ශ්‍රී ලංකාවේ ආරාම නිර්මාණය පිළිබඳ රචිත ප්‍රධාන සහ පැරණි ම සිද්ධාන්ත සංග්‍රහය වන්නේ ක්‍රි.ව. 5 -7 සියවස් කාලයන්හි රචිත මඤ්ජු-ශ්‍රී භාෂිතවාස්තුවිද්‍යාශාස්ත්‍රයයි. එම කෘතියෙහි ආරාම නිර්මාණයේ දී නිර්දේශිත මිනුම් ගණනය කොට ඇත්තේ හස්තය නම් මිනුම් ඒකකය බහුල ව උපයුක්ත කරගෙන ය. සංස්කෘත වාස්තුශාස්ත්‍ර මූලාශ්‍ර අධ්‍යයනයේ දී කිෂ්කු, ප්‍රාජාපත්‍ය, ධනුර්මුෂ්ටි, ධනුර්ග්‍රහ ආදි විවිධ හස්ත ප්‍රභේදයන් හමු වේ. මඤ්ජු-ශ්‍රී භාෂිතවාස්තුවිද්‍යාශාස්ත්‍රයෙහි භාවිත හස්තය නිශ්චිත ව කුමන හස්තය ද යන්න ග්‍රන්ථයෙහි සඳහන් නොවේ. එහෙත් දී ඇති මිනුම් සියුම් ව පරීක්‍ෂා කොට අධ්‍යයනයෙන් යම් සාක්‍ෂ්‍යයක්, භාවිත නිශ්චිත හස්තය හඳුනා ගැනීමට උපකාරී වේ යැයි උපකල්පනයෙන් මෙම පර්යේෂණය සිදු කරන ලදී. ඒ අතරින් ප්‍රතිමාගෘහයේ අධිෂ්ඨානයේ උස සම්බන්ධ මිනුම් ඉතා වැදගත් වන්නේ එහි සඳහන් මිනුම් විස්තර අධ්‍යයනයෙන් ම.වා.ශා කෘතිය නිර්දිෂ්ට හස්තයට අඟල් කීයක් භාවිත වී ද යන්න නිශ්චිත ව හඳුනා ගැනීමට හැකි ස්ථානයක් වන නිසාය. තුන් මහල් ප්‍රතිමාගෘහයේ අධිෂ්ඨානයේ උස අඟල් හතළිස් දෙකකි. එසේ ම මහල් එකොළොහක් වූ ප්‍රතිමාගෘහයෙහි අධිෂ්ඨානයේ උස හස්ත තුනක් හා අඟල් දහ අටකි. තුන් මහල් ප්‍රතිමාගෘහයෙහි අධිෂ්ඨානයේ උසට අඟල් සයක් එකතු කිරීමෙන් සිව් මහල් ප්‍රතිමාගෘහයේ අධිෂ්ඨානයේ උස ගණනය කෙරේ. මේ ආකාරයෙන් එකොළොස් මහල් ප්‍රතිමාගෘහය දක්වා පිළිවෙළින් අධිෂ්ඨානයේ උස ගණනය කළ යුතුය. කෘතියෙහි එකොළොස් මහල් ප්‍රතිමාගෘහයෙහි අධිෂ්ඨානයේ උස ඍජුව ම හස්ත 3ක් හා අඟල් 18 ක් බව දක්වා ඇත. එසේ ම කෘතියෙහි දැක්වෙන පරිදි ප්‍රසාදයේ අධිෂ්ඨානයත් භෝජනාලයේ අධිෂ්ඨානයත් සමාන උසකින් යුක්ත වේ. එය අඟල් හය බැගින් ක්‍රමයෙන් වැඩි කිරීමෙන් අධිෂ්ඨාන මිනුම් පහක් ලැබේ. අඟල් හය අධම උසයි. අඟල් දොළොස හීනක නම් වේ. අටළොස් අඟල මධ්‍යම උසයි. සූවිසි අඟල උත්තමයි. හස්තයක් හා අඟල් හය ශ්‍රේෂ්ඨ මානය බව ද දැක්වේ. මෙ ම ස්ථාන දෙකෙන් මඤ්ජු-ශ්‍රී භාෂිතවාස්තුවිද්‍යාශාස්ත්‍රයෙහි නිර්දේශිත හස්තය නිශ්චිත ව හඳුනාගත හැකි බව පර්යේෂණයෙන් සනාථ විය.
Description
Citation
ධම්මධජ හිමි, පනාවල (2022), මඤ්ජුශ්‍රීභාෂිත වාස්තු විද්‍යාශාස්ත්‍රයෙහි නිර්දේශිත හස්ත මිනුම් ඒකකය, 22nd International Postgraduate Research Conference, Faculty of Graduate Studies, University of Kelaniya Sri Lanka. 55.