මහනුවර යුගයේ රෝපිත ඓතිහාසික බෝධි වෘක්ෂ
Loading...
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Faculty of Graduate Studies, University of Kelaniya Sri Lanka
Abstract
බෝ හෙවත් ඇසතු බෞද්ධයන්ගේ වන්දනාවට පාත්‍රවන, බුදුන් වහන්සේ සංකේතවත් කෙරෙන පූජනීය වෘක්ෂයකි. අනුරාධපුර යුගයේ දෙවනපෑතිස් රජ දවස සංඝමිත්තා මහරහත් මෙහෙණිය විසින් ජය ශ්‍රී මහාබෝධියේ දක්ෂිණ ශාඛාව ලක්දිවට වැඩම කරවීමත් සමග මෙරට බෝධි වන්දනාව ස්ථාපිත විය. එතැන් පටන් ශ්‍රී මහාබෝධි ශාඛා සහ වෙනත් බෝධි ශාඛා ලංකාවේ නොයෙක් ස්ථානවල, විවිධ හේතු මුල්කොටගෙන රජදරුවන් විසින් රෝපණය කරන ලද බවට තොරතුරු හමු වේ. ශ්‍රී මහා බෝධි ශාඛා හෝ වෙනත් බෝධි ශාඛා රාජානුග්‍රහයෙන් ලක්දිව පුරා රෝපණය කිරීමේ පදනම පිළිබඳ සොයා බැලීම මෙම අධ්‍යයනයේ අරමුණයි. ඒ යටතේ මහනුවර යුගයේදී ශ්‍රී මහාබෝධි ශාඛා හෝ වෙනත් බෝධි ශාඛා විශේෂිත හේතු අරබයා කන්ද උඩරට රෝපණය කරන ලද්දේ ද යන්න මෙහි අධ්‍යයන ගැටලුවයි. එහිදී අධ්‍යයන ක්‍රමවේද වශයෙන් සාහිත්‍ය මූලාශ්‍රය අධ්‍යයනය සහ ක්ෂේත්‍ර අධ්‍යයනය යොදාගන්නා ලදී.
මහනුවර යුගයේදී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ අනුග්‍රහයෙන් කන්ද උඩරට ශ්‍රී මහා බෝධි ශාඛා රෝපණය කිරීමේ අවස්ථාවක් පිළිබඳ තොරතුරු වාර්තා වේ. අනුරාධපුර වන්දනාවේ පිටත් වූ රජතුමා ශ්‍රී මහාබෝධියෙන් ලබාගත් බෝධි ශාඛා හයක් සුදුහුම්පොළ, නිත්තවෙල, ගංගාරාමය සහ ද`ඵක්ගොල්ල යන රජමහ විහාරවල රෝපණය කරවා නඩත්තුව වෙනුවෙන් ගම්වර පූජා කරනු ලැබ තිබේ. මල්වතු අස්ගිරි උභය මහාවිහාර සම සමව නියෝජනය වන පරිදි මෙම විහාර තෝරාගැනීම සුවිශේෂී ය. ඉතිරි බෝධි ශාඛා දෙක රෝපණය කර ඇත්තේ වැලිවිට සරණංකර සඟරජ මාහිමියන්ගේ මෑණියන් විසූ වැලිවිටවත්ත වලව්ව සමීපයේ උස් භූමියක ය. වර්තමානය දක්වා මෙම බෝධි ශාඛා සියල්ලම නිරුපද්‍රිතව පවතී. මීට අමතරව වර්ෂ 1638දී ගන්නෝරුව සටනේ ජයග්‍රහණය සිහිපත් කරමින් දෙවන රාජසිංහ, කුමාරසිංහ සහ විජයපාල යන සොයුරු රජවරුන් තිදෙනා කඳවුරුලා සිටි ස්ථානවල බෝධි ශාඛා තුනක් රෝපණය කර තිබේ. රාජසිංහ බෝධිය, කුමාරසිංහ බෝධිය සහ විජයපාල බෝධිය නමින් ප්‍රකට වූ මෙම බෝධි වෘක්ෂ අතරින් දැනට ඉතිරිව පවතින්නේ ගැටඹේ දියකපනාතොට ශ්‍රී රක්ඛංග විහාර පරිශ්‍රයේ පිහිටි රාජසිංහ බෝධිය සහ ගැටඹේ රාජෝපවනාරාම පරිශ්‍රයේ පිහිටි කුමාරසිංහ බෝධිය පමණකි. පේරාදෙණිය උද්භිද උද්‍යාන පරිශ්‍රයේ පිහිටි බව කියැවෙන විජයපාල බෝධිය මේ වන විට දක්නට නොලැබේ. අනුරාධපුර යුගයේ පටන් විවිධ අරමුණු මුල්කොටගෙන ශ්‍රී මහාබෝධි ශාඛා විවිධ ස්ථානවල රෝපණය කර තිබෙන බව හඳුනාගත හැකිය. මහනුවර යුගයේදී එය සිදුවන්නට ඇත්තේ අනුරාධපුර ශුද්ධ නගරය සහ කන්ද උඩරට රාජධානිය සමග ශාසනික සබඳතාවක් ගොඩනැගීමේ අරමුණින් බව පෙනේ. මීට අමතරව යුද ජයග්‍රහණ ආගමික මුහුණවරක් ඔස්සේ සැමරීමේ අපේක්ෂාව ඇතිව ද බෝධි රෝපණ සිදු කරන්නට ඇති බව පිළිගත හැකිය.
Description
Citation
ගුණසිංහ එච්. (2022), මහනුවර යුගයේ රෝපිත ඓතිහාසික බෝධි වෘක්ෂ, 22nd International Postgraduate Research Conference, Faculty of Graduate Studies, University of Kelaniya Sri Lanka. 79.