Abstract:
‘ප්රගතිශීලී සාහිත්‍ය ව්‍යාපාරය’ නූතන හින්දී සාහිත්‍යය හැරවුම් ලක්ෂයක් වෙත පරිවර්තනය කරන ප්‍රබල චින්තන පද්ධතියක් ලෙස විචාරකයන්ගේ සාකච්ඡාවට ලක් වී ඇත. ‘ප්රගතිශීලිත්වය’ විශ්වීය සංකල්පයක් වන අතර 1917 සිදු වූ ඔක්තෝම්බර් විප්ලවයෙන් පසු යුරෝපය කේන්ද්‍ර කරගනිමින් සාහිත්‍ය ව්‍යාපාරයක් ලෙස ගොඩ නැගෙන්නට විය. 1930 දශකයේ මධ්‍ය භාගයේ දී උසස් අධ්‍යාපනය සඳහා එංගලන්තයට ගොස් සිටි ඉන්දියානු තරුණ බුද්ධිමතුන් විසින් ‘ප්රගතිශීලී සාහිත්‍යය සංකල්පය’ ඉන්දියාවට හඳුන්වා දෙන ලදී. ඉන්දියානු ලේඛකයන් විසින් අතිඋත්කර්ෂවත් අන්දමින් ප්රගතිශීලී සාහිත්‍යයේ විශිෂ්ට අරමුණු පිළිගත් අතර 1936 දී ප්රේම්චන්ද්ගේ මූලිකත්වයෙන් ‘භාරතීය ප්රගතිශීලී ලේඛක සංගමය’ පිහිටුවන ලදි. එහි ප්‍රතිඵලය වූයේ ප්‍රගතිවාදී යුගය නමින් හින්දි සාහිත්‍යයේ යුගයක් ආරම්භ වීමය. ඒ අනුව මෙම අධ්‍යයනයේ අරමුණ වන්නේ ප්‍රගතිවාදී යුගයේ හින්දී සාහිත්‍ය කෙරහි ‘ප්රගතිශීලි සාහිත්‍ය ව්‍යාපාරය කොතෙක් දුරට බලපෑ ඇති ද යන්න විමසුමට ලක් කිරීමය. ඉහත ප්රගතිශීලී සාහිත්‍ය ව්‍යාපාරයේ බලපෑම හින්දි ගද්‍ය, පද්‍ය සහ විචාර යන ක්ෂේත්‍ර තුනටම එක සේ ගැළපිය හැකිය. එහෙත් අධ්‍යයනයේ පහසුව සඳහා ප්‍රගතිවාදී යුගයට අයත් තෝරාගත් සුවිශේෂ ගද්‍ය කෘති ඔස්සේ අධ්‍යයනයේ අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා අවධානය යොමු කර ඇත.