NRCASS 2020

Permanent URI for this collectionhttp://repository.kln.ac.lk/handle/123456789/22377

Browse

Search Results

Now showing 1 - 2 of 2
  • Item
    තොටයක් සමයම මගින් සමාජයට ලැබෙන්නාවූ සන්නිවේදනය හා උපදේශනය
    (Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020) Chandrasekara, C.M. Ramith Preshal
    තොටයක් සමයම ශාන්තිකර්මය ඌව පළාත හා ඊට තදාශ්‍රිත මහඔය, පදියතලාව, නාමල්ඔය, අරන්තලාව, සේරන්කඩ යන ප්‍රදේශ ආශ්‍රිතව ව්‍යාප්තව පවතී. මෙය හුදෙක් කාන්තා පාර්ශවය උදෙසා පවත්වනු ලබන ශාන්තිකර්මයක් වේ. තොට යක්ෂයාගේ ඇල්ම බැල්ම හේතුවෙන් කාන්තාවන් හට ඇතිවන උපද්‍රව දුරු කිරීමෙහිලා මෙම ශාන්තිකර්මය පැවැත්වේ. නමුත් මෙම ශාන්තිකර්මයේ අන්තර්ගත පද්‍ය සාහිත්‍යය හා චාරිත්‍ර විමර්ශනයේ දී ප්‍රකට වන්නේ මෙම ශාන්තිකර්මය මගින් උපදේශන මාලාවක් සන්නිවේදනය වන බව ය. තොටයක් සමයම ශාන්තිකර්මය මගින් සමාජයට උපදේශනයක් සන්නිවේදනයක් වන්නේ ද යන්න මෙම පර්යේෂණයේ ගැටලුව වේ. මෙම පර්යේෂණයේ ක්‍රමවේදය ලෙස ඌව හා ඊට තදාසන්න ප්‍රදේශයන්හි තොටයක් සමයම පවත්වනු ලබන පාරම්පරික ශිල්පීන්ට අයත් ප්‍රාථමික, ද්විතීක මූලාශ්‍රය අධ්‍යයනය කරන ලදි. තව ද ක්ෂේත්‍ර අධ්‍යයනය මගින් මෙම ශාන්තිකර්ම ප්‍රායෝගිකව නිරීක්ෂණය කරන ලද අතර පාරම්පරික ශිල්පීන් සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡා මගින් ද පර්යේෂණයට අවශ්‍ය දත්ත රැස් කරගන්නා ලදි. එසේ රැස්කරගත් දත්ත විශ්ලේෂණයේ දී මෙම කරුණු අනාවරණය විය. අතීතයේ සමාජ ඇසුරක් නොමැතිව සාමාන්‍ය දැනුමකින් තොර ස්ත්‍රීන්, පුරුෂයන් පිටිසරබද පළාත ආශ්‍රිතව ජීවත් විය. ඔවුන්ට ලිංගික ජීවිතය පිළිබඳ උපදෙස් දීමට දෙමාපිය වැඩිහිටියෝ ඉදිරිපත් නොවිණි. තොටයක් සමයම මගින් නව යොවුන් තරුණියන්ටත්, අඹු සැමියන් හටත් සාර්ථක ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය වන උපදේශන වක්‍රව සන්නිවේදනය කරනු දැකගත හැකි වේ. යෞවනියන් හැසිරිය යුතු ආකාරය, ගමන් බිමන් යා යුතු ආකාරය, ආහාර ගත යුතු ආකාරය පිළිබඳව උපදේශ තොටයක් ශාන්තිකර්මයේ ඇතුළත් මගින් බලි පදය ප්‍රකට වනු දක්නට ඇත. විවාහ ජීවිතයට ඇතුළත් වන කාන්තාවන් හට සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය වන උපදේශන තොටයක් සමයම මගින් සමාජයට සන්නිවේදනය කරනු දක්නට ලැබේ. මෙම ශාන්තිකර්මයේ ඇතුළත් නානුමුරය මගින් කාන්තාවක් පිරිසිදු විය යුතු ආකාරය, කපු කැටීම මගින් තම පුරුෂයා සමඟ සබඳතා පැවැත්විය යුතු ආකාරය, දරු වැදීමේ දී දරුවකු බිහි කරන අයුරු හා වින්නඹු මවගේ කාර්ය පිළිබදවත්, දරු නැළවීම මගින් කුඩා දරුවකු නළවන ආකාරයත්, ගිරි යකිනි කවි මගින් ළඳරුවෙකුට ඇතිවිය හැකි උපද්‍රව පිළිබඳ පූර්ණ උපදේශනයක් සෞන්දර්යාත්මකව සමාජයට සන්නිවේදනයක් කෙරෙනු දක්නට ඇත. මෙම පර්යේෂණයන්ට අනුව තොටයක් සමයම මගින් සෞන්දර්යාත්මකව සමාජයට උපදේශන මාලාවක් සන්නිවේදනය වන බව නිගමනය කළ හැකි වේ.
  • Item
    සමාජ මාධ්‍ය පුද්ගල සම්බන්ධතාව කෙරෙහි ඇතිකරන බලපෑම පිළිබඳ අධ්‍යයනයක්
    (Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020) Chandrasekara, C.M. Ramith Preshal
    මානවයා තම අදහස් එකිනෙකා අතර හුවමාරු කර ගැනීමේ ක්‍රියාවලිය සන්නිවේදනය ලෙස සරලව ඉදිරිපත් කළ හැකිය. තාක්ෂණික දියුණුවත් සමඟ වර්තමානයේ සන්නිවේදනය ඉතාමත් සරල ක්‍රියාවක් බවට පත්ව ඇත. වර්තමාන තාක්ෂණයේ ඇතිව ඇති දියුණුවත් සමඟ පුද්ගල සබඳතා බිඳ වැටීමේ ප්‍රවණතාවයක් ගොඩ නැගී ඇත. වත්මන් පුද්ගල මනෝභාවයන්ට අනුව ඒකාකාරී ජීවන රටාවේ සමාජය තුළ යම් හුදකලා බවකට වත්මන් මිනිසා මුහුණ දෙමින් සිටී. මෙහි දී ඇතිවන රික්තකයට විසඳුම් සෙවීමේ දී සමස්ත සමාජය තුළ සමාජ මාධ්‍ය භාවිතය ප්‍රමුඛ වී ඇත. අතීතයේ රූපවාහිනී, ගුවන්විදුලි මාධ්‍යයන් වටා පවුල යන ඒකකය විසිරී පැවතිය ද වර්තමාන සමාජ මාධ්‍ය ඔස්සේ සන්නිවේදන ක්‍රියාවලිය තුළ පුද්ගල කේන්ද්‍රීය වපසරියක් තුළ නිර්මාණය වී තිබේ. එම නිසා විෂම සමාජ පුද්ගල අවශ්‍යතාවන්ගේ ස්වරූපය ද විවිධ දිශානතීන් ඔස්සේ ව්‍යාප්ත වී ඇත. වර්තමාන සමාජය සමාජ මාධ්‍යවලට ඇබ්බැහි වීම මගින් අනුකරණය හා පෙළඹීම හේතුවෙන් එකිනෙකා අතර සහ සම්බන්ධතාව අවම වීම සමාජයේ බහුලව දක්නට ලැබේ. සමාජ මාධ්‍ය පුද්ගල සම්බන්ධතාව කෙරෙහි බලපෑමක් ඇති කරන්නේ ද යන්න මෙම පර්යේෂණයේ ගැටලුව වේ. මෙම පර්යේෂණයේ ක්‍රමවේදය ලෙසට ද්විතීක මූලාශ්‍ර යොදා ගන්නා ලදී. එහි දී පුවත්පත්, සඟරා, අන්තර්ජාල ලිපි උපයෝගී කරගනිමින් දත්ත රැස් කර ගන්නා ලදී. තව ද මනෝවිද්‍යා උපදේශකයන් හා සමාජ විශ්ලේෂකයන් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡා මගින් ද මෙම පර්යේෂණයට අවශ්‍ය වන තොරතුරු රැස් කර ගන්නා ලදී. එසේ රැස් කළ දත්ත විශ්ලේෂණයේ දී නිගමනය කළ හැකි කරුණු වූයේ වර්තමානයේ තාක්ෂණික දියුණුවත් සමග මාධ්‍ය ජාලා මගින් පුද්ගල සම්බන්ධතාවයන්ට වයස් සීමාවකින් තොරව සෘජු හා වක්‍ර බලපෑම් රාශියක් එල්ල කරමින් සමාජයේ සයිබර් මානසිකත්වයක් ගොඩ නගමින් සිටින බවයි. මෙම සමාජ මාධ්‍ය හේතුවෙන් වත්මන් සමාජයේ පවුල් සංස්ථාව තුළ ආරවුල් ඇතිවීම්, විවාහ දෙදරා යාම් හා අනියම් සබඳතා ගොඩනැගීම්, විවිධ අපචාර සිදුවීම් ආදිය දක්නට ලැබේ. වර්තමාන සමාජ, සංස්කෘතියේ පුද්ගලයින් අතර සබඳතා ගොඩනඟා ගැනීමට නොහැකි වී ඇත්තේ සමාජ මාධ්‍යයන්ගේ ඇති අසීමිත අහිතකර බලපෑම් හේතුවෙනි යන්න මෙම අධ්‍යයනයේ දී නිගමනය කළ හැකිය.